වයඹ අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක සියදිවි නසා ගැනීම: 'මර්දනයේ උපත මේ ආයතනයේ තමයි තියෙන්නේ'

Trainee Teachers' Protest
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවන වසරේ ගුරු සිසුවියක සිය දිවි නසා ගැනීම මේ වන විට සමාජයේ දැඩි කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඇය අවසන් වරට හලාවත ප්‍රදේශයේ විදුහලක ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර, ඇයගේ සියදිවි නසා ගැනීමට ආසන්නතම සිදුවීම ඇය භාර කථිකාචාර්යවරයාගේ ක්‍රියා කලාපය බවට චෝදනා එල්ල වෙයි.

මෙම සිදුවීමත් සමග එම විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් මැයි 24 වන දා පස්වරුවේ හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වූහ.

මැයි 23 වන දා ජීවිතය හැර ගිය සංජීවනී කුමාරි සිසුවියට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් හා "වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදුවන අකටයුතුකම්වලට" ඔවුහු එහිදී විරෝධය පළ කළහ.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, කථිකාචාර්යවරුන් හා පාලනාධිකාරිය තමන් දැඩි ලෙස පීඩනයට ලක් කරන බව ය.

'වාහනය ඉල්ලුවම කිව්වේ ඩ්‍රයිවර්ලා නැහැ කිව්වා'

වයඹ
ඡායාරූප ශීර්ෂ වැකිය, "සමහර විට මේ සහෝදරිය අපිට බේර ගන්න තිබුණා වාහනයක් දුන්නා නම්. වාහනය ඉල්ලුවා ම ඩ්‍රයිවර්ලා නැහැ කිව්වා. බලාගෙන ඉන්න බැරි ම තැන අපි මේ සහෝදරිය උස්සන් පාරට අවා."

මහනුවර, තෙල්දෙණියේ උපන් සංජීවනී කුමාරි නේවාසිකාගාරයේ සිය කාමරය තුළ "ගෙළ වැලලාගෙන සිටියදී කාමරයේ දොර කඩා එළියට ගෙන රෝහල්ගත කිරීමට වාහනයක් ඉල්ලා සිටියත් වාහනයක් ලබා දීමට හෝ පාලනාධිකාරිය සමත්ව නැති බවට" ද චෝදනා එල්ල වේ.

එම අවස්ථාවේදී සිසුන් කැඳවාගෙන පැමිණි ත්‍රිරෝද රථයට ද නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු කිරීමට ද ඉඩ ලබා දී නොමැති බවට ද චෝදනා එල්ල වේ.

මේ සිදුවීම විස්තර කළ තම නම හෙළි කිරීමට අකමැති වූ සිසුවෙකු ප්‍රකාශ කළේ, තම "මුහුණ හෝ නම ප්‍රසිද්ධ කළහොත් තමන්ට අනිවාර්යයෙන් දඬුවමකට යටත් වීමට සිදුවන" බව ය.

"මර්දනයේ උපත මේ ආයතනයේ තමයි තියෙන්නේ. ළමයි හයසීයකට වඩා ඉන්නවා. හදිසි අසනීපයක් වුණොත් පැනඩෝල් පෙත්තක්වත් නැහැ. සමහර විට මේ සහෝදරිය අපිට බේර ගන්න තිබුණා වාහනයක් දුන්නා නම්. වාහනය ඉල්ලුවා ම ඩ්‍රයිවර්ලා නැහැ කිව්වා. බලාගෙන ඉන්න බැරි ම තැන අපි මේ සහෝදරිය උස්සන් පාරට අවා. ඒ ඇවිල්ලා පාරේ තිබ්බ ත්‍රීවීලර් එකක තමයි බිංගිරිය රෝහලට ආවේ. ඒ එද්දී වෙන්න තියෙන දේවල් වෙලා ඉවර යි. අනික් කාරණය, මේ ඉන්න ඕනෑ ම කෙනෙක්ගෙන් අහන්න මේකේ තියන පීඩනය," එම සිසුවා වැඩිදුරටත් පැවසීය.

සංජීවනී කුමාරි සිය ජීවිතය හැර ගියේ ද මේ පීඩනය දරා ගැනීමට නොහැකිව යැයි මෙම සිසුහු පැවසූහ.

'ලිංගික අතවර, ගෑනු ළමයෙකුට නෙමෙයි පිරිමි ළමයෙකුටවත් මේකේ ඇතුළේ ජීවත් වෙන්න අමාරුයි'

තවත් ගුරු සිසුවියන් කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.

"මේ ආයතනයේ අවුරුදු පහළොව, විස්ස සේවය කරන අය ඉන්නවා. සමහරු කසාද බැඳලා නැහැ, දරුවෝ නැහැ. ඒ අය දන්නේ නැහැ දරුවන් ගැන. ඒ අය ඇරියර්ස් කවර් කරන්න එන්නේ අපෙන්. අපි අසරණ යි. ලොකු පීඩනයක් එල්ල කරනවා. නැතිවුණු අපේ සහෝදරිය හරි ම අහිංසක යි. එයාට මේ පීඩනය දරා ගන්න බැහැ. අනෙක් කාරණය තමයි ලිංගික අතවර, ගෑනු ළමයෙකුට නෙමෙයි පිරිමි ළමයෙකුටවත් මේකේ ඇතුළේ ජීවත් වෙන්න අමාරු යි.

මෙය බරපතළ චෝදනාවක්, ඒ සඳහා සාක්ෂි තිබෙන්නේ දැයි යන්න කළ විමසීමේදී කිහිප දෙනෙකු ම ප්‍රකාශ කළේ, "ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියන්න. ළමයි සේරම විස්තර කරයි. නැත්නම් ළමයින්ට ලියන්න කියන්න, ළමයි සියලු දෙනා තමන් අත් විඳින පීඩනය ගැන කිය යි," යනුවෙනි.

ජල ගැටලුව හා අහාර

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා ද පීඨයේ නොමැති බව මෙම විරෝධතාවයේදී අනාවරණය විය.

"මේ ස්ථානයේ ළමයි හත්සියයකට ආසන්න පිරිසක් හිටියත් අවශ්‍ය ජලය නැහැ. ගොඩක් වෙලාවට වැසිකිළියකට යන්න විදිහක් නැහැ. මෙතන වැඩි ගණනක් ඉන්නේ ගැහැනු ළමයි. ඒ අයට කොච්චර ජලය ඕනෑ ද? මේ ගැන බලන්න පුළුවන් ඕනෑ ම කෙනෙකුට දැන් හරි ආවොත් ළමයි කොහොම ද ජලය එකතු කරගෙන තියෙන්නේ කියලා.

"සමහර දවස්වලට ජලය එන්නෙ ම නැහැ. සමහර දවස්වලට පැයක් විතරයි එන්නේ. එක පාරක් නම් දවස් තුනක් නිවාඩු දුන්නා. නමුත් ඒ ඇවිල්ලා දවස් දෙකයි වතුර ආපහු නැති වුණා. ඒ වගේ ම තමයි කෑම ගන්න පිඟාන, ඒ පිඟාන පෝසිලෙන් සුදු පිඟානක් වෙන්න ම ඕනෑ. නැත්නම් කෑම නැහැ. කෑම නිසා සිදුවුණු දේවල් කියලා ඉවර කරන්න බැහැ.

අපි මේ ගැන සියලු දෙනා කතා වෙලා දැනුම් දුන්නා. ඒ දැනුම් දුන්න අයට විරුද්ධව පාලනාධිකාරියෙන් යම් යම් පියවර ගත්තා. ලියුම් ලියවා ගත්තා. මේ නිසා ළමයි බය යි. මොක ද තව මාස කීපයකින් අමාත්‍යංශයෙන් විභාගයක් තියෙනවා. ඒ විභාගේ ෆේල් වුණොත් තව අවුරුද්දක් මේකේ ඉන්න වෙනවා. ඒ හිටියත් කමක් නැහැ හරියට උගන්වනවා නම්. අපේ සමහර විෂයන් උගන්වල තියෙන්නේ පාඩම් දෙක තුනයි. සමහර විෂයන්වලට කථිකාචාර්යවරු නැහැ.

'සිසුන්ට පීඩනයක් තියෙන බව පිළිගන්නවා' - පීඨාධිපති

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති පී.වී. ලාල්කුමාර
ඡායාරූප ශීර්ෂ වැකිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති පී.වී. ලාල්කුමාර

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති පී.වී. ලාල්කුමාර ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් ඉදිරිපත් කරන ඇතැම් කරුණු පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව ය.

"සිසුන්ට පීඩනයක් තියෙන බව පිළිගන්නවා. මේ වගේ තමයි අනෙක් විද්‍යාපීඨවලත්. ගිහින් බලන්න," ඔහු පැවසීය.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි විමසූ අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙන බව ය.

මාධ්‍ය වෙත එලෙස ප්‍රකාශ කළ ද සිසුන්ට සාධාරණයක් කරන බවට පීඨාධිපතිවරයා පොරොන්දු වූ බව සිසුහු පැවසූහ. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද පැය දෙකක් පුරා පැවති විරෝධතාව නිමාවට පත් කළේ එම පොරොන්දුව අනුව බවට වාර්තා විය.

'තවත් කෙනෙකුට මේ වගේ දෙයක් නොවෙන්න කටයුතු කරන්න' - සංජීවනීගේ සහෝදරිය

A banner.
ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ නංගිගේ ෆොටෝ මාධ්‍යවල දාන්න එපා. දැන් සියල්ල ඉවරයි. නංගි සියදිවි නසාගෙන කියලා අපිව දැනුවත් කළා."

මිය ගිය සංජීවනී කුමාරි සිසුවියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මැයි 24 පස්වරුවේ හලාවත මහ රෝහලේදී කෙරිණි.

ඒ සඳහා ඇයගේ මව සහ සහෝදරියක පැමිණ සිටි අතර එහිදී ඇගේ මව ප්‍රකාශ කළේ, සති දෙකකට පෙර මියගිය දුව නිවසට පැමිණ ගිය බව ය. එහිදී ඇගේ වෙනසක් නොපෙනුණු බව ද ඇය පැවසුවා ය.

සංජීවනීගේ වැඩිමහල් සහෝදරියක ප්‍රකාශ කළේ, සිය නැගණිය තමන්ට එල්ල වූ පීඩනය පිළිබඳව කියා ඇති බව ය.

"මේ ස්ථානයේ සිදුවන දේවල් නංගි මට කියල තියනවා. කිසි ම නිදහසක් නැහැ කියලා තියනවා. ඒ වගේ ම අපි නොදන්නා දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. මේ සියල්ල හොයලා තවත් කෙනෙකුට මේ වගේ දෙයක් නොවෙන්න කටයුතු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

"මගේ නංගිගේ ෆොටෝ මාධ්‍යවල දාන්න එපා. දැන් සියල්ල ඉවරයි. නංගි සියදිවි නසා ගෙන කියලා අපිව දැනුවත් කළා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

ඔබට සහයක් අවශ්‍ය ද?

මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909