9/11 ප්‍රහාරය: සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී සිදුවූයේ කුමක් ද? මිය ගිය පිරිස කොපමණ ද?

Smoke plumes from the twin towers of New York's World Trade Center, shortly after the attack on 11 September 2001.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 7

9/11 ප්‍රහාරවල 24 වන සංවත්සරය වෙනුවෙන් බ්‍රහස්පතින්දා එක්සත් ජනපදයේදී අනුස්මරණ සැමරුම් රැසක් පැවැත්වෙනු ඇත.

2001 සැප්තැම්බර් 11 වන අඟහරුවාදා, මරාගෙන මැරෙන ප්‍රහාරකයින් එක්සත් ජනපද මගී ජෙට් යානා පැහැර ගනිමින් නිව්යෝර්ක්හි උස් ගොඩනැගිලි දෙකක ගැටීමට සැලැස්වූ අතර එමගින් දහස් ගණනක් ජනයා මිය ගියහ.

මෙම සිදුවීම ලොව පුරා ගැඹුරු ප්‍රතිවිපාක ඇති කර තිබිණි.

ඉලක්ක වූ ගොඩනැගිලි මොනවා ද?

එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයට ඉහළින් පියාසර කළ ගුවන් යානා හතරක් කුඩා කණ්ඩායමක් විසින් එකවර පැහැර ගනු ලැබී ය.

ඒවා අනතුරුව නිව්යෝර්ක් සහ වොෂින්ටනයේ ප්‍රමුඛ ගොඩනැගිලිවල ගැටීමට ඉලක්කගත මිසයිල ලෙස භාවිත කළේ ය.

ගුවන් යානා දෙකක් නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුනුවල ගැටුණු අතර පළමුවැන්නෙන් මිනිත්තු 17කට පසුව දෙවන ප්‍රහාරය එල්ල විය.

ගොඩනැගිලි ගිනි ගැනීමට ලක්වූ අතර, ජනයා ඉහළ මහල් මත සිරවී නගරය දුමාරයෙන් වැසිණි. පැය දෙකකටත් අඩු කාලයකදී, මහල් 110කින් යුත් කුලුනු දෙක ම දැවැන්ත දූවිලි වලාවන් සමගින් කඩා වැටිණි.

තුන් වන ගුවන් යානය පෙන්ටගනයේ බටහිර කොටස විනාශ කළේ ය - එය රටේ අගනුවර වන වොෂින්ටන් ඩීසීවලින් පිටත පිහිටි එක්සත් ජනපද හමුදාවේ දැවැන්ත ම මූලස්ථානය යි.

මගීන් පෙරළා සටන් කිරීමෙන් අනතුරුව සිව් වන ගුවන් යානය පෙන්සිල්වේනියාවේ පිටියකට කඩා වැටිණි. ගුවන් යානය පැහැර ගත් පිරිස වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමට අදහස් කර තිබූ බව සැලකේ.

ග්‍රැෆික් චිත්‍රයකි

9/11 ප්‍රහාරවලින් කොපමණ පිරිසක් මිය ගියේ ද?

සමස්තයක් වශයෙන්, පුද්ගලයින් 2,977 දෙනෙකුගේ (ගුවන් යානය පැහැර ගත් 19 දෙනා හැර) ජීවිත අහිමි වූ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නිව් යෝර්ක් නගරයේ සිටි පුද්ගලයෝ වූහ.

  • ගුවන් යානා හතරේ සිටි මගීන් 246 දෙනා සහ කාර්ය මණ්ඩලය සියලු දෙනා මිය ගියහ
  • ඒ මොහොතේදී ම හෝ ප්‍රහාරය අතරතුර ඇති වූ තුවාල හේතුවෙන් ද්විත්ව කුලුනුවල සිටි පුද්ගලයින් 2,606 දෙනෙකු මිය ගියහ
  • පෙන්ටගනයේදී, පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය

ළාබාල ම වින්දිතයා වයස අවුරුදු දෙකක ක්‍රිස්ටීන් ලී හැන්සන් වූ අතර සහ වයස්ගත ම පුද්ගලයා 82 හැවිරිදි වියේ පසුවූ රොබර්ට් නෝර්ටන් ය. ඔවුන් දෙදෙනා ම ගුවන් යානාවල සිටි මගීන් වූහ.

පළමු ගුවන් යානය ගැටෙන අවස්ථාවේදී, කුලුනු දෙක තුළ 17,400ක පමණ පිරිසක් සිටි බව තක්සේරු කර ඇත. උතුරු කුළුණේ යානය වැදුණු මට්ටමට ඉහළින් සිටි කිසිවෙකුටවත් ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ නමුත්, දකුණු කුළුණේ යානය වැදුණු මට්ටමට ඉහළින් පිහිටි තට්ටුවල සිටි 18 දෙනෙකුට එතැනින් බේරී පැන ගැනීමට හැකි විය.

තුවාල ලැබූවන් අතර විවිධ රටවල් 77ක පුරවැසියෝ වූහ. නිව්යෝර්ක් නගරයේ මුල් පෙළේ හදිසි මුදාගැනීම් නිලධාරීන් 441 දෙනෙකුට මෙහිදී ජීවිත අහිමි විය.

දහස් ගණනක් පුද්ගලයින් තුවාල ලැබූහ, නැතහොත් පසුව ප්‍රහාරවලට සම්බන්ධ රෝගාබාධවලට ගොදුරු වූහ, ඊට විෂ සහිත සුන්බුන් තුළ සේවය කළ ගිනි නිවන භටයන් පිරිසක් ද ඇතුළත් වූහ.

Ten men and women flee as one of the towers of the World Trade Center collapses in New York on 11 September, 2001. The pavement beneath their feet is covered with debris and the air is full of smoke.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

9/11 ප්‍රහාරකයින් කවුද?

අල්-ඛයිඩා ලෙස හැඳින්වෙන ඉස්ලාමීය අන්තවාදී ජාලයක් ඇෆ්ඝනිස්ථානයේ සිට ප්‍රහාර සැලසුම් කළේ ය.

මුස්ලිම් ලෝකයේ ඇති වූ ගැටුම් සඳහා ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් වගකිව යුතු බවට ඔසාමා බින් ලාඩ්න්ගේ නායකත්වයෙන් යුත් අල්-ඛයිඩා සංවිධානය චෝදනා කළේ ය.

කණ්ඩායමේ කාලිඩ් ෂෙයික් මොහොමඩ් කුමන්ත්‍රණය සැලසුම් කළ බවත්, නියමුවන් බඳවා ගැනීමට සහය දුන් බවටත් විශ්වාස කෙරේ. ඔවුන්ගෙන් ඇතැමෙක් එක්සත් ජනපදයේ පුහුණුව ලැබූහ.

A photo showing the ruined remains of the twin towers, two days after the attack. The air is still full of smoke.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම පැහැර ගැනීම් සිදු කිරීම සඳහා පුද්ගලයන් 19 දෙනෙකු සම්බන්ධ වූ අතර, ඔවුන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 3ක් සහ පුද්ගලයන් 4 දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් ලෙස (පෙන්සිල්වේනියාවට කඩා වැටුණු යානය තුළ) ක්‍රියාත්මක විය.

පැහැර ගන්නන්ගෙන් පහළොස් දෙනෙකු ම බින් ලාඩ්න් මෙන් ම සෞදි අරාබි ජාතිකයෝ වූහ. දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද, එක් අයෙක් ඊජිප්තුවෙන් සහ තවත් එක් අයෙක් ලෙබනනයෙන් ද පැමිණි අය වූහ.

9/11 ප්‍රහාරයට එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?

ප්‍රහාරයෙන් මාසයකටත් අඩු කාලයකට පසු, එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් අල්-ඛයිඩා සංවිධානය මුලිනුපුටා දැමීමට සහ බින් ලාඩ්න්ව සොයා ගැනීමට - ජාත්‍යන්තර සන්ධානයක සහය ඇතිව - ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට නායකත්වය ලබා දුන්නේ ය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු හමුදාවන්ට බින් ලාඩ්න් අසල්වැසි පකිස්ථානයේ සිටින බව සොයාගෙන ඔහුව ඝාතනය කිරීමට හැකි වූයේ, 2011 වසරේදී ය.

කාලිඩ් ෂෙයික් මොහොමඩ් වසර අටකට පෙර 2003දී පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

9/11 ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන කාලිඩ් ෂෙයික් මොහොමඩ් , ඊට වසර අටකට පෙර, එනම් 2003 වසරේදී පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

Andy Card speaks quietly into the ear of the sombre-looking George W Bush as he tells the then US President about the 9/11 attacks.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ධවල මන්දිර ප්‍රධාන ලේකම් ඇන්ඩි කාර්ඩ්, එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට පාසලක පැවැති උත්සවයක් අතරතුර 9/11 ප්‍රහාරය පිළිබඳව දැනුම් දුන් අයුරු

අල්-ඛයිඩා (Al-Qaeda) සංවිධානය තවමත් පවතී. එය වඩාත් ම ශක්තිමත් වී ඇත්තේ උප-සහාරා අප්‍රිකාවේ වුව ද, මේ වන විටත් එහි සාමාජිකයෝ ඇෆ්ඝනිස්ථානය තුළ සිටිති.

වසර 20කට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ අතර, එමගින් මෙම ඉස්ලාමීය ජාලය නැවත හිස එසවිය හැකි බවට බොහෝ දෙනා තුළ බියක් ඇති කළේ ය.

කාලිඩ් ෂෙයික් මොහොමඩ් යනු කවුද? ඔහුට සිදුවූයේ කුමක් ද?

A photo of Khalid Sheikh Mohammed provided by his legal team. He has a long red beard and wears a white and red headscarf, along with a grey shirt and darker grey sleeveless jacket.

ඡායාරූප මූලාශ්‍රය, Photo courtesy of Khalid Sheikh Mohammed’s legal team

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කුවේට් රාජ්‍යයේ උපන් කාලිඩ් ෂෙයික් මොහොමඩ්, 1980 ගණන්වලදී ඇෆ්ඝනිස්ථානයේ සටන් කිරීමට යාමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරු විද්‍යාව හදාරා තිබිණි.

වෙනත් බෝම්බ ප්‍රහාරවලට සහ ව්‍යර්ථ කළ ප්‍රහාරවලට තිබූ ඔහුගේ මැදිහත්වීම් නිසා 9/11 ප්‍රහාරයට පෙර සිට ම FBI ආයතනය ඔහු සොයමින් සිටියේ ය.

2003 වසරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු, මොහොමඩ් රහසිගත CIA බන්ධනාගාරවල වසර තුනක් ගත කළ අතර එහිදී ඔහු කුරිරු ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන්නේ ය. ඉන්පසුව ඔහුව කියුබාවේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා කඳවුරක් වන ගුවන්තනාමෝ බේ වෙත යවන ලද අතර, ඔහු මේ වන තෙක් ම සිටින්නේ එහි ය.

ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන කාලය තුළ ඔහුට සැලකූ ආකාරය හේතුවෙන් ඔහුට එරෙහිව ඇති සාක්ෂි අඩපණ කළ හැකි බවට පවතින ගැටලු නිසා, 9/11 ප්‍රහාරයේ ඔහුගේ මැදිහත්වීම වෙනුවෙන් ඔහුට නඩු විභාගයක් පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව එම කඳවුරේ පිහිටි යුද අධිකරණයක් දශකයකට වැඩි කාලයක් තිස්සේ සලකා බලමින් සිටී.

2025 ජනවාරි මාසයේදී, ඔහු සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන වාලිඩ් මුහම්මද් සාලිහ් මුබාරක් බින් අට්ටාෂ් සහ මුස්තාෆා අහමඩ් ආදම් අල්-හව්සාවි — මෙම ප්‍රහාරවලට ඔවුන්ගේ සම්බන්ධතාව වෙනුවෙන් වරද පිළිගැනීමට සූදානම්ව සිටියහ. ඊට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ට මරණ දණ්ඩනයෙන් බේරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ වෙනුවට සමාව දීමකින් තොරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.

නමුත් නඩු විභාගය පැවැත්වීමට නියමිත දිනට පෙර දින, ඇමෙරිකානු ෆෙඩ්රල් අභියාචනාධිකරණය විසින් මෙම නඩු කටයුතු තාවකාලිකව නවතා දමන ලද්දේ, වරද පිළිගැනීමේ එකඟතාව ඉවත් කර ගන්නා ලෙස ඇමෙරිකානු රජය කළ ඉල්ලීමක් සලකා බැලීම සඳහා ය; රජය කියා සිටියේ එම එකඟතාව ඉදිරියට ගෙන යාමෙන් 'ආපසු හැරවිය නොහැකි' බරපතළ හානියක් සිදුවන බව ය.

2025 ජූලි මාසයේදී, අධිකරණය අභියාචන ගිවිසුම නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ ය.

ඉන්පසුව 2026 අගෝස්තු මාසයේදී, ඇමෙරිකානු හමුදා විනිසුරුවරයෙකු විසින් කාලිඩ් ෂෙයික් මොහොමඩ්ට එරෙහි නඩු විභාගය 2028 ජුනි මාසයේදී පවත්වන බවට තීන්දුවක් ලබා දුන්නේ ය.

A reflection of Freedom Tower surrounded by other tall buildings in the square Reflecting Pool. Ripples make the image slightly wobbly.

ඡායාරූප මූලාශ්‍රය, UCG via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 9/11 අනුස්මරණ පරාවර්තන තටාකයේ නිව්යෝර්ක්හි ෆ්‍රීඩම් ටවර් කුලුනේ සෙවනැල්ල පරාවර්තනය වන අයුරු

9/11 ප්‍රහාරයෙන් උරුම වූයේ කුමක් ද?

9/11 ප්‍රහාරවලින් අනතුරුව එළඹි වසරවලදී ලොව පුරා ගුවන් ගමන් ආරක්ෂාව තර කළේ ය.

එක්සත් ජනපදය තුළ ගුවන් තොටුපළවල සහ ගුවන් යානාවල ආරක්ෂාව තර කිරීම සඳහා ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) සකස් කළේ ය.

කඩා වැටුණු ද්විත්ව කුලුනු පිහිටි ස්ථානය වූ 'ග්‍රවුන්ඩ් සීරෝ' ප්‍රදේශය සම්පූර්ණයෙන් ම පිරිසිදු කර අවසන් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත විය.

දැන් එම ස්ථානයේ ස්මාරකයක් සහ කෞතුකාගාරයක් ඉදිකර ඇති අතර ගොඩනැගිලි යළි ගොඩ නගා ඇත්තේ වෙනස් සැලසුමකට අනුව ය.

A crescent moon rises behind the skyline of lower Manhattan and light reflects off the One World Trade Center as the sun sets in New York City on 3 September, 2025, as seen from Jersey City, New Jersey.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝවර් මෑන්හැට්න්හි ගොඩනැගිලි මධ්‍යයේ පිහිටා ඇති ෆ්‍රීඩම් ටවර් කුලුන

අඩි 1,776ක් (මීටර 541ක්) උසැති, එහි ප්‍රධානතම ගොඩනැගිල්ල ලෙස ඉදිකර නිම කරන ලද 'වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්' නොහොත් 'ෆ්‍රීඩම් ටවර්', එය ප්‍රතිස්ථාපනය කළ අඩි 1,368ක් (මීටර 417ක්) උසැති පැරණි උතුරු කුළුණටත් වඩා උසින් වැඩි ය.

පෙන්ටගන් ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ගත වූයේ වසරකටත් අඩු කාලයකි; 2002 අගෝස්තු වන විට එහි කාර්ය මණ්ඩලය නැවතත් තමන්ගේ කාර්යාල වෙත පැමිණියහ.