ඥානසාර හිමිට පැනවූ තවත් සිරදඬුවමක් තහවුරු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්: 07) නිවේදනය කළේ ය.
අදාළ නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මේ බව නිවේදනය කළේ ය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් ඉකුත් දා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.
ඉන්පසුව එම දඬුවම කියවා දීම සඳහා අදාළ නඩුකරය අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිරගතව සිටින ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.
එහිදී මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද අභියාචනා පෙත්සමේ තීන්දුව කියවා දෙනු ලැබිණි.
ඥානසාර හිමිගේ නීතිඥයින්ගේ කරුණු දැක්වීම්
අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු දැක්වීය.
ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායක හිමියන්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ය.
ඒ අනුව, එම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන තීන්දුව පැමිණෙන තෙක් මෙම නඩුකරය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේ ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කළේ ය.
"ස්වාමීනි... ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේ ගිහි ඇඳුමින් අධිකරණට ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන් ම වැරදි යි. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට හැකියාවක් නැහැ. සිය සේවාදායක හිමියන් පාරාජිකා වූ භික්ෂුවක් නෙවෙයි. උන්වහන්සේගේ භික්ෂුභාවය අහිමි වෙලා නැහැ. එම නිසා මේ ආකාරයෙන් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම වැරදි යි. ඒ නිසා තමයි උන්වහන්සේගේ නිකායේ නායක හිමිවරු උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා තිබෙනවා. එසේ තිබියදී මෙවැනි දේවල් සිදුවීම ඉතාම කනගාටුදායක යි" යනුවෙන් නීතිඥවරයා පැවසීය.
ඒ අනුව, ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ තීරණය ලැබෙන තෙක් උන්වහන්සේට දඬුවම් කියවා දීම පෙබරවාරි මස 25 වන දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස්වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කෙරුණු නඩුවකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස නවයක සිර දඬුවම් නියම කර තිබිණ.
එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් ඉකුත් දා කොළඹ මහාධිකරණයේදී ප්‍රතික්ෂේප විය.



































