පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම: මසකට රු. 120ක් ප්‍රමාණවත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඔසප් දරිද්‍රතාවය තවමත් ශ්‍රී ලංකාවේ ගැහැනු ළමුන් සහ කාන්තාවන් මුහුණදෙන ගැටලුවකි.
එමෙන් ම බොහෝ දෙනෙකු සිය ළමා කාලයේ හෝ මුහුණ දුන් ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් මා මාගේ මිතුරියන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ ද අත්දැකීම වූයේ පාසල් සමයේදී ඔවුන් ද මෙම ඔසප් දරිද්‍රතාවයට මුහුණ දී ඇති බව ය.
එයින් එක් මිතුරියක් ඔසප් වීමකදී පළමු වරට සනීපාරක්ෂක තුවායක් භාවිත කර තිබුණේ ඇය උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා කාලයේදී ය.
එතෙක් ඇය භාවිත කර තිබුණේ රෙදි කැබලි විය.
මා ද පාසල් සමයේ පාසල් කාලය සඳහා සනීපාරක්ෂක තුවා භාවිත කළ නමුත් නිවසේ රැඳී සිටින කාලය සඳහා භාවිත කළේ රෙදි කැබලි ය.
එයට හේතුව වූයේ ඒ වන විට මසකට එක් සනීපාරක්ෂක තුවා පැකට්ටුවකට වඩා මිලට ගැනීමේ ආර්ථික හැකියාවක් නොතිබීම ය.
එලෙස මිලට ගත්තේ ද එවකට වෙළඳපොලේ අවම මිලකට පැවති නිෂ්පාදනයකි.
මා සමග සාකච්ඡා කළ බොහෝ මිතුරියන්ගේ අත්දැකීම වූයේ ද ඊට සමාන අත්දැකීම් වන අතර, ඔවුන් පැවසුවේ ඔවුන් රැකියාවකට ගිය පළමු අවස්ථාවේදී ම වඩා ගුණාත්මක නිෂ්පාදනයකට මාරු වූ බව ය.
මේ වන විට රජය මෙතෙක් පැවති ආකාරයට ම සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට වසරකට රු. 1,440 ක් වටිනා තිලිණපත් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය මෙවර අයවැයට ද ඇතුළත්ව තිබූවකි.
කෙසේවෙතත් එම මුදල මාස 12න් බෙදූ විට එක් මාසයක් සඳහා සිසුවියකට හිමි වන්නේ රු. 120ක මුදලකි.
වෙළඳපොලේ මේ වන විට පවතින සනීපාරක්ෂක තුවා පැකට්ටුවක අවම සාමාන්‍ය මිල රු. 200 ඉක්මවන අතර, එක් නිෂ්පාදනයක පමණක් තුවා 8ක් සහිත පැකට්ටුවක් රු.150කට අලෙවි වෙයි.
එසේ නම් මෙම මුදලින් සිසුවියන්ට ගුණාත්මක නිෂ්පාදනයක් භාවිත කිරීමට අවස්ථාව හිමි වනවා ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.
'ඉස්කෝලේ ළමයින්ට ලොකු උදව්වක්'
දැනටමත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් පාසල්වල පවතින තත්ත්වය පිළිබඳව විමසීමට අප විසින් තංගල්ල, අම්බලන්ගොඩ, ගිනිගත්හේන, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්වල සේවය ගුරුවරුන්ගෙන් විමසීමක් සිදු කරන ලදී.
ඔවුන් සියලුදෙනා ම පාහේ පැවසුවේ සිසුවියන් එම නිෂ්පාදන උනන්දුවෙන් ලබා ගන්නා බව ය.
වැඩිවිය පැමිණි සිසුවියන්ගේ ලැයිස්තුවක් පන්තිභාර ගුරුවරුන්ගෙන් ලබාගෙන ඔවුන්ට පාසල හරහා සනීපාරක්ෂක තුවා පැකට්ටු ලබාදීම ඒ අනුව සිදුවූ බව ඔවුහු පැවසූහ.
"දැන් නම් මාස කිහිපයකින් ලැබිලා නෑ. නමුත් ඒක ලැබෙනවා නම් මෙහෙ ළමයින්ට ඒක ලොකු උදව්වක්," යැයි තංගල්ල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක සේවය කරන ගුරුවරියක් පැවසුවා ය.
"අපේ ඉස්කෝලේ මාස තුනකට සැරයක් පැකට් 3 ගානේ දුන්නා. අන්තිමට දුන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර්," අම්බලන්ගොඩ ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ගුරුවරියක් පැවසුවා ය.
'රුපියල් 720 බැගින් වූ තිළිණපත් දෙකක්'
පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, මෙම වසරේදී ද සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මාර්තු 24 පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ය.
ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440ක් වන සේ රුපියල් 720ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් බැගින් ලබා දීමටත්, සිය අභිමතය පරිදි රුපියල් 120බැගින් වූ තුවා 08ක් සහිත පැකට් 12ක් හෝ රුපියල් 180බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'වැඩිපුර කතා කළේ නිෂ්පාදනයේ කොලිටි එක ගැන'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්නගෙන් විමසීමක් කරන ලදී.
"මේක දිගට ම කරගෙන ආපු එකක්. මේ අවුරුදේ දෙන සංඛ්‍යාව වැඩි කළා. කොලිටි එක සම්බන්ධයෙන් අපට ගිය අවුරුද්දේ පැමිණිලි වගයක් තිබුණ නිසා කොලිටි එක වැඩි කරන්න කියලා අපි කියලා තියෙනවා. දැන් ලංකාවේ ඔසප් වීම සිදු වන සියලු ම පාසල් ශිෂ්‍යාවන් ආවරණය වෙනවා," ඔහු පැවසුවේ ය.
එහිදී අප විමසා සිටියේ මසකට වෙන්වන්නේ රු. 120ක් වැනි මුදලක් නිසා ඒ මුදලට ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි ද යන්න ය.
"ආයතන 4ක් තියෙනවා, ඒ ආයතන 4 ම SLS තත්ත්ව සහතිකය තියෙන අය. මේ 4න් තමන්ට සුදුසු නිෂ්පාදනය ළමයින්ට තෝරාගෙන තමන්ගේ වවුචරයෙන් ලබා ගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
"අපි ඇත්තට ම වැඩිපුර කතා කළේ නිෂ්පාදනයේ කොලිටි එක ගැන. ඔසප් වීම පටන් ගන්න ළමයින්ගේ සනීපාරක්ෂක තුවාවල උරාගන්නා ප්‍රමාණයක් තියෙනවා. එතකොට සමහරවෙලාවට ළමයෙක් තමන්ගේ ඔසප් චක්‍රයට ප්‍රමාණවත් නොවන සනීපාරක්ෂක තුවායක් පාවිච්චි කළොත් ඒ උරාගැනීම ඉක්මවා යන්න පුළුවන්. ඒ නිසා අපි කිව්වා, අවශ්‍ය කොලිටි එක වගේ ම උරාගන්නා ප්‍රමාණය ළමයාට තෝරාගන්න පුළුවන් විදිහේ අවස්ථාවක් ළමයින්ට ලබා දෙන්න කියලා," අමාත්‍යවරයා පැවසුවේ ය.
'නොමිලේ දෙන්න ඕනේ තමයි, නමුත් ගුණාත්මක නිෂ්පාදනයක් දෙන්න ඕනේ'
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරිනියක වන පබා දේශප්‍රියගෙන් ද බීබීසී සිංහල විමසීමක් කළ අතර, ඇය පැවසුවේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීම හොඳ ඉදිරි පියවරක් බව ය.
"ජාතික මට්ටමෙන් සෑම ළමයෙක්ට ම සනීපාරක්ෂක තුවා දෙනවා කියන එක ම ඉදිරි පියවරක් හැටියට දකින්න පුළුවන්. මොකද මේකෙන් ඔසප් සෞඛ්‍ය ගැන කතා කරන සමාජයට යනවා, මේක ලැජ්ජාවට පත්විය යුතු දෙයක් නෙවෙයි, මේක රජයෙනුත් කරන දෙයක් කියන එකත් එක්ක ඔසප් සෞඛ්‍ය ගැන තියෙන වැරදි අදහස් සමාජයෙන් නැති කරන්න සහ ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබෙනවා," ඇය පැවසුවා ය.
කෙසේනමුත් ඇය ක්ෂේත්‍ර අධ්‍යයනවලදී දුටු ඇතැම් අත්දැකීම් සම්බන්ධයෙන් විස්තර කළේ මෙලෙසින් ය.
"කුරුණෑගල මම ගිය එක පාසලක පෑඩ් ගොඩගහලා තිබුණා අරන් ගිහින් නැතුව, එක හේතුවක් තමයි ගැහැනු දරුවෝ මැලි වෙනවා මිශ්‍ර පාසලකදී මේක ගන්න. මේකේ කොලිටි එක කියන එකත් ළමයි මේක නොගන්න ප්‍රධාන හේතුවක් වෙලා තිබුණා," ඇය පැවසුවා ය.
"සාමාන්‍යයෙන් අපි කියන්නේ පෑඩ් එකක් පැය 4ක් වගේ කාලයක් ඇතුළත මාරු කරන්න ඕනේ කියලා. නමුත් අපි ඉබ්බාගමුව ප්‍රදේශයේ පාසල්වල පොඩි අධ්‍යයනයක් කළා දරුවන් හරහා. පාසල්වල වැසිකිළිවල තියෙන තත්ත්වය හරි ම කණගාටුදායකයි. ගැහැනු ළමයෙක්ට විශේෂයෙන් වතුර නෑ, පෑඩ් එක ගලවලා විසි කරන්න තැනක් නෑ. එතකොට පැය 4ත් 6ත් අතර පෑඩ් එක මාරු කරන්න කිව්වට ඒක අපේ ළමයින්ට යථාර්තයක් නෙවෙයි," ඇය පෙන්වා දෙයි.
"නොමිලේ ලබා දෙන පෑඩ් එකේ කොලිටි එකත් දැනට වෙළඳපොලේ රු. 150කට වගේ ගන්න තියෙන වගේ ඒවා තමයි බෙදා හරින්නේ. ඒක ලංකාවේ නිෂ්පාදනයක්," පබා දේශප්‍රිය පැවසුවා ය.
මෙම සනීපාරක්ෂක තුවාය ඇඳ සිටීමට තරමක් අපහසු බවට සිසුවියන් පවසන බව ද ඇය පවසයි.
"වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යාවන් කියන්නේ ඒකට උරාගන්නවා මදි සහ ඒ තුළ ඉක්මනින් ම පුළුන් කැඩිලා කැබලි බවට පත්වෙන නිසා ඇඳගෙන ඉන්න අමාරුයි කියන එක. ඒ වගේ ම සමහර ශිෂ්‍යාවන් කියනවා ඒක කසනවා කියලා. අපි නොමිලේ දෙන්න ඕනේ තමයි, නමුත් ගුණාත්මක නිෂ්පාදනයක් දෙන්න ඕනේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තිරසාර විකල්පයකට යා හැකි ද?
දැනට පවතින පාසල්වල වැසිකිළි පහසුකම් නගා සිටුවීමටත් පාසල්වල කසල බැහැර කිරීම සම්බන්ධයෙනුත් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න පැවසුවේ ය.
"මේ වෙද්දී අපි පාසල්වලට ජල පහසුකම් ලබා දීම සහ වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි සකස් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ග්‍රාමීය පාසල්වල විතරක් නෙවෙයි ළමයි 6,000ක් වගේ ඉන්න නාගරික පාසල්වලත් ප්‍රමාණවත් පරිදි වැසිකිළි පහසුකම් නැති ප්‍රශ්නය තියෙනවා," ඔහු පැවසුවේ ය.
"ඒ වගේ ම තමයි සනීපාරක්ෂක තුවා බැහැර කරන්න තැනක් පාසල්වල නැති ප්‍රශ්නයත් තියෙනවා. මේ නිසා පාසල් තුළ මේ විදිහට එකතු වන කසළ බැහැර කරන ක්‍රමවේදයක් හදන්න අපි දැනටමත් පළාත් පාලන ආයතන සමග කතා කරමින් ඉන්නවා," අමාත්‍යවරයා පවසයි.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරිනී පබා දේශප්‍රිය පවසන්නේ පරිසර හිතකාමී දිගුකාලීන සැලැස්මකට යාම වැදගත් බව ය.
"පෑඩ්ස් පාවිච්චිය වැඩි වෙනවා කියන්නේ ම ලොකු කසළ ප්‍රමාණයකුත් එකතු වෙනවා කියන එක. එතැනදී අපි ඔසප් කප් එක වගේ දෙයක් පාවිච්චි කරන්න දරුවන් යොමු කරන්න පුළුවන් නම් අවුරුදු ගානකට ම එකක් පාවිච්චි කරන්න පුළුවන්," ඇය පෙන්වා දෙයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සමාජය තුළ තවමත් පවතින "කන්‍යාභාවය සම්බන්ධ මිථ්‍යාව" නිසා එය ජනප්‍රිය කරගැනීමට නොහැකි වී ඇති බව ඇය පෙන්වා දෙයි.
"ලංකාවේ සමාජයේ කන්‍යාභාවය සහ කන්‍යා පටලය කියන දෙක ම එකක් කියලා තියෙන මිථ්‍යා මතය නිසා අපට ඔසප් කෝප්පය කියන විසඳුම සමාජයට අරගෙන යන්න බැරි වෙලා තියෙනවා," ඇය පැවසුවා ය.
සිසුවියන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට වෙනත් විකල්ප සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින්නේ ද යන්න අප විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ද විමසීමක් කරන ලදී.
"ඔව්, අපි අපට තවත් ගන්න පුළුවන් විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා," යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න පැවසුවේ ය.


































