හෝමූස් ගාස්තු අය කිරීමේ යෝජනාව හකුළා ගනී: ට්‍රම්ප් යුද උගුලක සිරවී සිටී ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇන්තනි සර්චර්
- Role, උතුරු ඇමෙරිකානු වාර්තාකරු
- Author, කේලා එප්ස්ටයින්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම ඉරාන යුද ඉල්ලීම පැවතියේ පැය 24ක් වැනි කෙටි කාලයක් පමණක් වන අතර, ඉන් ඇඟවෙන්නේ ජනාධිපතිවරයා අසීරු තත්ත්වයකින් මිදීම සඳහා සම්ප්‍රදායික නොවන ක්‍රම සොයමින් සිටින ආකාරයකි.
සඳුදා උදෑසන ඔහු සමාජ මාධ්‍ය හරහා පැවසුවේ, ඉරාන නැව්වලට පනවා ඇති ඇමෙරිකානු නාවික තහනම නැවත ක්‍රියාත්මක කරන බවයි.එහිදී ඔහු කියා සිටියේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන (ඇමෙරිකාවේ මිත්‍ර රටවල නැව් ද ඇතුළුව) සෑම නැවක්ම 20% ක බද්දක් ගෙවිය යුතු බවයි.ලෝකයේ මේ වගේ නොසන්සුන් කලාපයකට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ඇමෙරිකාවට යන වියදම් පියවා ගැනීමට මෙම මුදල අය කරන බව ඔහු පැහැදිලි කළේය.
ඊළඟ දිනයේදී ඔහු එම යෝජනාව සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ අතර, ඒ වෙනුවට ඇමෙරිකාවේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් සමඟ "වෙළඳ සහ ආයෝජන ගිවිසුම්" ඇති කර ගන්නා බව ප්‍රකාශ කළේය. ඉන් අදහස් වූයේ එම ගිවිසුම්වලට හිලව් වශයෙන්, හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඇමෙරිකාව ඔවුන්ට ඉඩ සලසන බවයි.
මෙම හදිසි තීරණය වෙනස් කිරීම, දැනට මාස හතරකට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුමක දක්නට ලැබුණු නවතම හැරවුමයි.තාවකාලික සටන් විරාමයක් ලබා දෙමින් සහ සාකච්ඡා සඳහා රාමුවක් සකස් කරමින්, මසකට පෙර ඇති කරගත් "අවබෝධතා ගිවිසුම" තිබියදීත්, මෙම ගැටුම අවසන් වන බවක් පෙනෙන්නට නොමැත.
යුද්ධය තවදුරටත් ජනප්‍රිය නොවීම, බලශක්ති මිල (තෙල් මිල) ඉහළ යාමේ හැකියාව සහ ඇමෙරිකානු හමුදාවන් මෙන්ම මිත්‍ර පාර්ශවයන් නැවත වරක් ඉරාන ප්‍රහාරවලට ලක්වීමේ අවදානම නිසා, ට්‍රම්ප් මෙම යුද්ධය තවදුරටත් උග්‍ර කිරීමට මැලි විය හැකිය.කෙසේ වෙතත්, 2015 වසරේදී බැරක් ඔබාමාගේ රජය ඇති කරගත් ගිවිසුමට වඩා හොඳ ගිවිසුමකට එළඹීමට නොහැකිව, කිසිදු එකඟතාවයකින් තොරව මෙම ගැටුම අවසන් කිරීමට සිදුවීම ද ඔහුට දරාගත නොහැකි වනු ඇත.
ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳ මැද පෙරදිග වැඩසටහනේ අධ්යක්ෂ රෝස්මරී කෙලනිඩ් පැවසුවේ යුද්ධය ඉක්මනින් අවසන් වීමට ඉඩක් නොමැති බවයි. "මේක ක්‍රමයෙන් ප්‍රතිවාදියා වෙහෙසට පත් කර දුර්වල කිරීමේ යුද්ධයක් බවට පත්වෙලා තියෙනවා, ඒ වගේ යුද්ධ සාමාන්‍යයෙන් වැඩි කාලයක් පුරාවට ඇදී යනවා."
ඇමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම (MOU) - සහ ඒ සමඟ යුද්ධය අවසන් වනු ඇතැයි තැබූ බලාපොරොත්තු - අඟහරුවාදා නැගෙනහිර වේලාවෙන් (ET) පෙ.ව. 10:16 ට ට්‍රෲත් සෝෂල් (Truth Social) සමාජ මාධ්‍ය ජාලය තුළ නිමාවට පත් විය. ඒ, ඉරානය පුරා පිහිටි ඉලක්ක වෙත ඇමෙරිකාව එල්ල කළ නව හමුදා ප්‍රහාර මාලාව මධ්‍යයේ, ඉරාන නැව් ගමනාගමනයට පනවා ඇති ඇමෙරිකානු අවහිරතාවය නැවත ආරම්භ කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟය.
ඉරානය ඊට ප්‍රතිචාර දැක්වූයේ එම කලාපයේ සිටින ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ට සහ වාණිජ නැව්වලට එල්ල කරන ප්‍රහාර දැඩි කරමිනි. මේ හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය නැවත වරක් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දෙරට අතර මාසයකට ආසන්න කාලයක් පුරා වරින් වර පැවැති සාකච්ඡා සහ "සටන් විරාමයක" අර්ථය පවා පරීක්ෂාවට ලක් කරමින් විටින් විට ඇති වූ සතුරු ගැටුම් මධ්‍යයේ, ට්‍රම්ප් සහ ඇමෙරිකානුවන් මුහුණ දෙමින් සිටින්නේ ඉරාන යුද්ධය පුරාම තිබූ එම පැරණි අභියෝගවලට ම බව පෙනෙන්නට තිබේ.
විනාශ කරන ලද ඉරාන නැව්, ගුවන් යානා, ඉලක්ක සහ දුර්වල කරන ලද ආරක්ෂක හැකියාවන් අනුව මැන බැලීමේදී ඇමෙරිකානුවන් මිලිටරිමය වශයෙන් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගනිමින් සිටියද, දේශපාලනික වශයෙන් මෙම ගැටුම විසඳීමට තවමත් බොහෝ දුරස්ව පවතී.
ඉරානය මිලිටරිමය වශයෙන් දුර්වල වී තිබුණද, හෝමුස් සමුද්‍ර සන්ධියට ප්‍රවේශ වීම වැළැක්වීමේ හැකියාව තවදුරටත් ඔවුන් සතුව පවතී. එමෙන්ම, ඇමෙරිකානුවන් කලාපය තුළ තම මිලිටරි ක්‍රියාමාර්ග දැඩි ලෙස තීව්ර කිරීමට සූදානම් නොවන්නේ නම්, එය වැළැක්වීම සඳහා ඔවුන්ට කළ හැකි දෑ ස්වල්පයකි.
නව අදහසක් නොවුනද ට්‍රම්ප්ගේ 20%ක ගාස්තු අය කිරීම ඇතැම් විට සිය හමුදා කැපවීම ඇමෙරිකානු මහජනතාවට වඩාත් ප්‍රියජනක කරුණක් බවට පත්කිරීමේ උත්සහයක් විය හැකිය. යුද්ධය අතරතුර ඔහු අවස්ථා කිහිපයකදීම ඒ හා සමාන සැලැසුම් යෝජනා කර තිබිණි.
නමුත් ඉකුත් මාසයේ දී, හෝමූස් හරහා නැව් ගමනා ගමනය සඳහා "ගාස්තු" අය කිරීමේ ඉරාන සැලැස්මක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෙළා දැක තිබිණි.
"ජාත්‍යන්තර ජල මාර්ගයක් භාවිතා කිරීම සඳහා කිසිදු රටකට ගාස්තු අය කරන්න බැහැ. ඒකයි ජාත්‍යන්තර නීතිය, අපි මෙතැනදීත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි." යැයි ඔහු පැවසීය
ට්‍රම්ප් හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ගත් තීරණය නැවත වෙනස් කිරීම (U-turn), ඔහුට ඉදිරියට යාමට පැහැදිලි සැලසුමක් හෝ මාර්ගයක් නොමැති බව පෙන්වන නවතම සාක්ෂිය පමණි.ඇමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශවයම තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කළ එම අවබෝධතා ගිවිසුම, හිතාමතාම අපැහැදිලි ලෙස සකස් කර තිබූ අතර, එහි බොහෝ කරුණු ඉදිරියේ පැවැත්වෙන සාකච්ඡාවලට ඉතිරි කර තිබිණි.
එම ලේඛනයේ හෝමුස් හරහා නාවික ප්‍රවාහනය අධීක්ෂණය කිරීම පිළිබඳව යම් භූමිකාවක් ඉරානයට ලබා දීමේ අදහසක් ඇතුළත් විය. එහි මෙලෙස සටහන් විය: "ඉරාන ඉස්ලාමීය ජනරජය වාණිජ යාත්‍රා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා තම උපරිම උත්සාහය යොදා අවශ්‍ය විධිවිධාන සකස් කරනු ඇති අතර කිසිදු ගාස්තුවක් අය නොකරනු ඇත."
ඉරානය තහවුරු කිරීමට උත්සාහ දරා ඇති භූමිකාව මෙයයි. එම අවබෝධතා ගිවිසුම හරහා ඒ වෙනුවෙන් ඉරානය සඳහා පොරොන්දු වූ ඩොලර් බිලියන ගණනක "ආයෝජන" සහ ජාත්‍යන්තර සම්බාධක අවසන් කිරීම ද ඇතුළත් විය.
එම සහන දීමනා සහ නීති කඩකිරීම්වල ප්‍රතිඵල ගැන කළ අනතුරු ඇඟවීම්, හොර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය වඩාත් දැඩි ලෙස තම අතට ගැනීමට ඉරානය සතු භූගෝලීය වාසි භාවිතා කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් වනු ඇතැයි ඇමෙරිකානුවන් විශ්වාස කරන්නට ඇත. නමුත්, අවම වශයෙන් මේ මොහොතේ ඔවුන් කළ එම ගණනය කිරීම වැරදි බව පෙනී යයි.
"ඒ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා තියෙන්නේ. ඒකෙ සඳහන් වෙලා තිබ්බ සියලුම දේවල් දැන් අහෝසි වෙලා," කෙලනිඩ් පැවසීය.
දැන් ට්‍රම්ප් සහ ඉරානුවන් යන දෙපාර්ශවයම නැවතත් හුරුපුරුදු අසීරු තත්ත්වයකට මුහුණ දී සිටිති.
ඉරාන වැසියන් තම භූමිය පුරා නැවත වරක් ඇමෙරිකානු මිලිටරි ප්‍රහාරවලට මුහුණ දෙමින් සිටින අතර, එමඟින් තම භූමියේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව පැහැදිලි වේ.නැවත පනවන ලද නාවික අවහිරතාවය හේතුවෙන්, ඉරාන රේඛීය පාලනයේ ජීවනාලිය බඳු වූ ඔවුන්ගේ තෙල් ආදායම නැවත වරක් සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් ඇත.
මේ අතර, ට්‍රම්ප්ට නැවත වරක් තේරීම් දෙකක් අතරින් එකක් තෝරා ගැනීමට සිදුව ඇත. එනම්, දේශීය ආර්ථික හා දේශපාලන පිරිවැයක් දැරීමට සිදුවන යුද්ධය තවදුරටත් උග්‍ර කිරීම හෝ සතුරු ඉරාන පාලනයක් බලයේ තබන යම් ආකාරයක එකඟතාවයකට පැමිණීමයි.
"අපි නැවතත් ආරම්භයේ සිටි තැනටම පැමිණ සිටිනවා. දැන් තියෙන ප්රශ්නය තමයි: කාටද වඩා ඉවසීමක් තියෙන්නේ?" යැයි විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ (Council on Foreign Relations) මැදපෙරදිග අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජික එලියට් ඒබ්‍රම්ස් (Elliot Abrams) පැවසීය.තෙල් අපනයනය කිරීමට නොහැකි වන ඉරානයටද, නැතහොත් පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් භාවිතා කරන ඇමෙරිකාව ඇතුළු අනෙකුත් රටවලටද වඩා ඉවසීමක් ඇත්තේ ?" යැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
ඉරාන යුද්ධය හේතුවෙන් ජනප්‍රියත්වය පළුදු කරන නව උද්ධමන රැල්ලක් ඇති වේ යැයි මාස ගණනාවක් තිස්සේ පැවති කනස්සල්ලෙන් පසුව, පාරිභෝගික මිල ගණන් පහත වැටෙමින් පවතින බවට ට්‍රම්ප්ට අඟහරුවාදා දිනයේදී සුභ ආරංචියක් ලැබිණි.
සම්පූර්ණ සතුරුකම් නැවත ආරම්භ වීම හෝ ගැටුම තවදුරටත් උග්‍ර වීම, අනිවාර්යයෙන්ම තෙල් මිල පෙර පැවති ඉහළ මට්ටම් කරා නැවත තල්ලු කරනු ඇත. මෙය දැනට පවතින සාධනීය ආර්ථික ප්‍රවණතාවයට බාධාවක් වන අතර, නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කොංග්රස් අතුරු මැතිවරණයට (midterm elections) මුහුණ දෙන රිපබ්ලිකන් පක්ෂය නැවතත් අසීරු තත්ත්වයකට ඇද දමනු ඇත.
සඳුදා ට්‍රම්ප්ගේ Truth Social සටහනෙන් පසුව, තෙල් බැරලයක මිල 10%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියේය. එය ගතවූ වසර හයක කාලය තුලදී දිනක් තුළ විශාලතම ඉහළ යාම විය.
පළමු වතාවට, ට්‍රම්ප්ගේ අවහිර කිරීම ඉරානය සාකච්ඡා මේසයට ගෙන ඒමට බලපෑම් කිරීමට සහ අවබෝධතා ගිවිසුමක් සහ වඩාත් කල් පවතින සාමයක් සඳහා රාමුවක් සැකසීමට උපකාරී විය.
දැන්, කෙලනිඩ්ට අනුව, ඉරානය කෙරෙහි ජනාධිපතිවරයා සතු බලපෑම් කිරීමේ හැකියාව අඩු විය හැකිය.
ඔහුට පහසුවෙන් සහ විශ්වාසනීය ලෙස කළ හැකි දේවල් ඔහු දැනටමත් උත්සාහ කර තිබෙනවා," යැයි ඇය පැවසුවාය."ඔහුට මිලිටරි ඉලක්ක සහ ඉරාන රේඛීය පාලනයේ (රජයේ) ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකියි. ඔහු එය මීට පෙරත් කර තිබෙනවා, නමුත් එයින් ඉරානය යටත් වූණේ නැහැ" යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ට්‍රම්ප් යෝජනා කර ඇති නවතම ඉලක්කය වන්නේ ටෙහෙරානයට දකුණින් පිහිටි, දැඩි ලෙස ආරක්ෂිත න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පික්ඇක්ස් කඳු ආශ්රිත ප්රදේශයයි.කෙසේ වෙතත්, එම ස්ථානයේ වටිනාකම පිළිබඳව මෙන්ම, ග්‍රැනයිට් පාෂාණවලට යටින් පිහිටි උමං මාර්ගවලට ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සැලකිය යුතු හානියක් කළ හැකිද යන්න පිළිබඳව පවතින්නේ එකිනෙකට පටහැනි සාක්ෂි වේ.
ට්‍රම්ප්ගේ මෙම නවතම පියවරයන් අවසානයේදී තවත් සටන් විරාමයකින් සහ මුහුණට මුහුණලා කෙරෙන සාකච්ඡාවලින් කෙළවර වුවද, දෙපාර්ශවය අතර පවතින මූලික සහ සමගි කිරීමට අපහසු මතභේද එලෙසම පවතිනු ඇත.හොර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ ස්වභාවය සහ මැදපෙරදිග කලාපය තුළ ඉරානය සතු බලපෑම යන කරුණු ඒ අතර වේ.
හොර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙහි ඉඩක් ඇති බව මම හිතනවා," යැයි ඒබ්‍රම්ස් පැවසීය."නමුත් නැවත පැරණි අවබෝධතා ගිවිසුමකට (MOU) යාමක් සිදු නොවේ" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
යුද්ධය එහි පස්වන මාසයට එළඹෙමින් තිබියදී, වියට්නාම් යුද්ධය ඇතුළු ඇමෙරිකාවේ අනෙකුත් පැරණි ගැටුම් වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය බව ට්‍රම්ප් සඳුදා දින නැවත වරක් සිහිපත් කළේය.
කෙසේ වෙතත්, එම සුවිශේෂී අර්බුදකාරී තත්ත්වය (වියට්නාම් යුද්ධය) ලින්ඩන් බේන්ස් ජොන්සන්ගේ ජනාධිපති ධුරය අඩාල කිරීමට මෙන්ම අවසානයේදී එය නිමාවීමට ද හේතු වූ අතර, අවම වශයෙන් දශකයකට පමණ කාලයක් ඇමරිකාවේ ගෝලීය පිළිගැනීමට ද හානි කළේය.ට්‍රම්ප් අනිවාර්යයෙන්ම මඟහරවා ගැනීමට බලාපොරොත්තු වන්නේ එවැනි දෛවයකි.
ඔහුගේ ආධාරකරුවෝද, මීට පෙර පැවැති ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරවලදී ට්‍රම්ප් විසින් දැඩි ලෙස හෙළා දකින ලද මැදපෙරදිග "සදාකාලික යුද්ධ" (forever wars) වැනි තත්ත්වයන් නැවත ඇති වනු දැකීමට අකමැති වෙති.
නමුත් අවබෝධතා ගිවිසුම (MOU) සම්පූර්ණයෙන්ම බිඳ වැටී, සටන් විරාමය අවසන් වී සහ තවදුරටත් ගැටුම් ඇතිවීමේ අවදානම මතු වී තිබීම නිසා, ඉරාන යුද්ධයේ අවසානය එය ආරම්භ වූ මුල් සති කිහිපයට වඩා කිසිදු වෙනසක් නැති, විසඳුමකින් තොර තත්ත්වයක පවතී.


































