ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම ඇරඹේ : එය අධිකරණ කේෂ්ත්‍රයට වැදගත් වන්නේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණය තුළ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ.

ඒ, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙසයි.

එමෙන්ම මෙරට ඉතිහාසයේ ප්‍රථමවතාවට අධිකරණයේ විභාග වන නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු (e- filing) කිරීමට දැන් අවකාශය ලැබී ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e- filing පද්ධතිය මගින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේය.

භෞතික ලේඛන රහිතව විභාග කළ පළවෙනි නඩුව

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊ-ගොනු කිරීමේ පද්ධතිය පෙබරවාරි 10 වන දින සිට විවෘත කර ඇති අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත.

මෙම ක්‍රියාවලියේ සඵලතාව තහවුරු කරමින් මේ වන විට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදුව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

එකී ක්‍රියාවලියේ සංදිස්ථානයක් වශයෙන් මාර්තු 26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණය තුළ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කරන පරිදි එසේ විභාග කළ නඩුව සුවිශේෂි වන්නේ එය 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය, විභාග දිනට පෙර දිනයේ දී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03 ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවිනි.

ඩිජිටල් අත්සන් යෙදීම හා ඩිජිටල් නඩු ගොනුව

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදි නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඩුල්ල පරිශීලනය කළ බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් විසින් සිදු කරන ලද අතර චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මගින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශව වෙත ලබා දී තිබේ.

චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි මස 14 වැනි දිනට කල් තැබුන අතර එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත (paper less) නඩු විමසීම කරනු ලබන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනය කළේය.

E-filing ක්‍රමයේ ඇති වාසි සහ පහසුව

"මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ "e-court" ව්‍යාපෘතියේ කඩඉමක්." යනුවෙන් නිවේදනයේ දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කළ හැකි අතර එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

තවද, මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතිඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාව පුරා ඇති සියළු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කරන බව ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

භෞතික ලේඛන රහිත වූ ශ්‍රේෂ්ඨාධිකරණය

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඔස්සේ මුදල් වෙන් කර මෙම වැඩසටහන ආරම්භ කළ බවත් අගවිනිසුරුවරයාගේ මැදිහත් වීම මත ඩිජිටල්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගත හැකි වූ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂ නානායක්කාර පැවසීය.

"මෙතන වැඩිපුර ප්‍රසංශාවක් ඉදිරිපත් කරන්න ඕන අපේ අග්‍රවිනිශකාරතුමාට, මොකද එයා අපි හිතුවාට වඩා වැඩි වේගයකින් ඩිජිටල්කරණයට මැදිහත් වුණා. හැබැයි රජයෙන් ඒකට මුදල් වෙන් කළා. ඒ නිසා තමයි සුප්‍රීම් කෝට් එකට පේපර්ලස් ක්‍රමයක් ආවේ. ඔය ඩිජිටල්කරණයේ එක කොටසක්." යැයි ඇමතිවරයා බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.

'කොල අච්චු ගහන්නයි, ෆයිල් වැඩවලටයි ලක්ෂ 7,8ක් විතර යනවාලු'

මෙම වැඩසටහන හරහා විශාල මුදලක් ඉතිරි වන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

"නීතිඥවරු දන්නවා නඩු ගොනු සකස් කරන්න ගියා ම ඔය එක ගොනුවකට සමහර වෙලාවට පිටු 700 - 800 ය තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒකෙන් වගඋත්තකාරයන්ට පිටපත් දෙන්න ඕන. වගඋත්තරකාරයෝ පහක්, හයක් හිටියොත් ලොකු මුදලක් යනවා. සමාන්‍යයෙන් නීතිඥවරු කියන්නේ ලොකු නඩුවක දී කොල අච්චු ගහන්නයි, ෆයිල් වැඩවලටයි ලක්ෂ 7,8ක් විතර යනවාලු. මම දන්නේ නැහැ ඒක නඩුවෙන් නඩුවට වෙනස් වෙන්න පුළුවන් ඉන්න වගඋත්තරකාරයෝ ගාණේ හැටියට. නඩුකාරතුමන්ලා තුන්දෙනෙක් ඉන්නවා නම් ඒ තුන්දෙනාටම පිටපත් තුනක් දෙන්නත් ඕන."

අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය වෙන්නේ කවදා ද?

දැනට මෙම වැඩසටහන ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක බවත් ඉතා ඉක්මනින්ම අභියාචානාධිකරණයේ ඩිජිටල්කරණය ආරම්භ කරන බවත් ඇමති හර්ෂ නානායක්කාර කියා සිටියේය.

එමෙන්ම දිසා අධිකරණ, මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණවල ද ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙතෙක් එය ආරම්භ කළ හැකි කාල වකවානුවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සඳහන් කළේය.

"දැන් අපි සමහර කොළඹ මහේස්ත්‍රාත් උසාවිවල, විශේෂයෙන්ම කොටුව අධිකරණය වගේ මට මතකයි. ඉස්සර අපි සටහන් ගන්නේ මෝෂන් එකක් දාලානේ. ටයිප් කරලානේ පිටු ටික දෙන්නේ. දැන් ඊමේල් එකක් හරහා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා."