මහාචාර්ය කපිල පෙරේරා යනු කවුද? මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ඔහු වැරදිකරු වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Highways / Facebook
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල වෙත තහවුරු කළේ ය.
වත්මන් ආණ්ඩුව විසින් 2024 වසරේ සිට ඔහු ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් පසුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කරන ලදී.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කළ ඉල්ලීම
මහාචාර්ය කපිල පෙරේරා අද (මැයි29 වැනිදා) පැවති උත්සවයක දී ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
එහිදී ඔහු කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලේකම් ධූරයෙන් සමුගැනීමට අවසර ඉල්ලමින් සිටි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව සිය ඉවත් වීමට අදාළ කර නොගත් බව ද මහාචාර්යවරයා පැවසීය.
"මා ගරු අමාත්‍යතුමාගෙන් සුහදව ඉල්ල ඉල්ල හිටියා මට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ යන්න දෙන්න කියලා. අපේ ගරු ජනාධිපතිතුමා එක්කත් මම අවස්ථා තුනකදී විතර හම්බ වෙච්ච වෙලාවේ කිව්වා යන්න අවශ්‍යයි කියලා."
තම ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයාට, ඇමතිවරයාට සහ නියෝජ්‍ය අමාත්‍ය දෙපළට මහාචාර්ය කපිල පෙරේරා සිය ස්තුතිය පුද කළේය.
මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වැරදිකරුවෙකු වීම
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්දගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇති බවට එල්ල වූ චෝදනාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය දා තීන්දු කළේ ය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නීත්‍යනුකූලව අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කරනු ලැබූ පෙත්සම්කාර නිලධාරියාට, ඔහුගේ සේවය අනවශ්‍ය බව පවසා අත්තනෝමතික ලෙස කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දීම මගින් අමාත්‍යාංශ ලේකම්වරයා පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අධිකරණය ප්‍රකාශයට පත් කළේ ය.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, වගඋත්තරකාර ලේකම්වරයා විසින් මිනිසෙකු මෙන් ම උසස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙත්සම්කරුට තිබිය යුතු ගෞරවණීය අයිතිය සහ වෘත්තීය අභිමානය මුළුමනින් ම උල්ලංඝනය කර ඇති බව ය.
මහාචාර්ය කපිල පෙරේරාගේ යනු කවුද?
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති මහාචාර්ය කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමි කරගෙන තිබේ.
කැලිෆෝනියා ඩේවිස් විශ්වවිද්‍යාලයෙන් (University of California Davis) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය බළකායේ ලුතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස සේවය කර ඇති මහාචාර්ය කපිල පෙරේරා, ඉන්පසු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය.
මහාචාර්යවරයා, මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ධූරයට පත්ව ඇති අතර 2017 සිට 2020 දක්වා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හෙබවීය.
ගෝඨාභය රජය සමයේත් ලේකම් ධූරයක්
2015 වසරේ මහ මැතිවරණයේදී මහාචාර්ය කපිල පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවට ඇතුළත් කර තිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට ක්‍රියාත්මක වූ වියත් මග සංවිධානයේ සමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව 2020 වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල පෙරේරා පත් කරනු ලැබිණි.
































