නාමල් රාජපක්ෂ රිමාන්ඩ්: SriLankan 'එයාර් බස් ගනුදෙනුව' යනු කුමක් ද?

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 04 වැනිදා) නියෝග කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර සිටියේ ය.
අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඔහු පෙනී සිටියේ ය.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ය.
නාමල් රාජපක්ෂගේ නීතිඥවරයෙකු වන නිශාන්ත දයානන්ද ප්‍රකාශ කළේ, ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
මිය ගිය කපිල චන්ද්‍රසේන කර තිබූ ප්‍රකාශය
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට
මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මස 12 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
මැයි 08 වන දා මිය ගිය SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම (මාර්තු 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.
එයාර් බස් ගනුදෙනුව යනු කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිය සමාගමේ ගුවන් යානා මිල දී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර් බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබුණු බවට චෝදනා එල්ල වී තිබිණි.
2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
2013 මාර්තු 29 වන දින එයාර් බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4ක් බදු දීම සඳහා අතරමැදියකු සමග ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ.
මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියනයක් ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16ක් ද කොමිස් මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත.
එමෙන්ම, 2015 ඔක්තෝබර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේ නම් අතරමැදියාට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබා දීමට අදාළ ගිවිසුම මගින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි.
කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ, පෙර එකඟ වූ ඇමෙරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි.
2013 ජූනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයකදී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා 6ක් ඇණවුම් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබූ බව ද අධිකරණ වාර්තාවේ දැක්වෙයි.
එම ගුවන් යානා 6 ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි.
නමුත්, 2013 ජුනි 28 ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත.

































